ප්‍රයිම් ලෑන්ඩ්ස් ගෲප් සමාගමේ ගරු සභාපති ප්‍රේමලාල් බ්‍රහම්මණගේ මහතා සිළුමිණ මාධ්‍යවේදිනී ඉනෝකා පෙරේරා බණ්ඩාර සමඟින් පැවැත්වූ සංවාදයේ පසුගිය 2016 මාර්තු 13වන ඉරිදා සිළුමිණහි සටහන් වූවා. මේ එම සංවාදයයි.
Prime Lands හදපු ඔබ කවුද?
වෘත්තීය සුදුසුකම්ලත් (CIMA) ගණකාධිකාරිවරයෙක්. ඒ වගේ ම සරල
මනුෂ්‍යයෙක්. මේක, වෘත්තීය දැනුම සහ සරල ජීවිතය කියන කාරණාදෙකෙහි පිහිටලා
ඉදිරියට යන ව්‍යාපාරයක්.
Prime Lands ඔබේ තනි ව්‍යාපාරයක් ද?
මේක, සඳමිණි සහ මම කියන මිත්‍රයො දෙන්නා එකතු වෙලා ආරම්භ කළ ව්‍යාපාරයක්. අපි
දෙදෙනා තවමත් ව්‍යාපාරය තුළ ඉන්නවා.
ව්‍යාපාරයක් ඉදිරියට යද්දි මිත්‍රත්වයත් එලෙසම පවතින්නේ කලාතුරකින්.
එහෙම බලද්දි ඔබලාගේ මිතුදම විරල එකක්?
ව්‍යාපාරයකදි හවුල්වන මිත්‍රයො හරි සාමාජිකයො හරි එහෙම ප්‍රශ්න ඇතිකර ගන්නෙ
එකිනෙකාට වංචා කරන්න ගියොත් විතරයි. රවටන්න ගියොත් විතරයි. අවංකව සහ
විනිවිදභාවයකින් යුතුව වැඩ කරනවා නම් ඔය ප්‍රශ්න නැහැ. අවුරුදු විස්සක් තුළ
අපි මේ තරම් ඉදිරියට ආවේ එහෙම වැඩකරපු නිසා.
Qualified Chartered
Management Accountant කෙනකුට ව්‍යාපාරික සිතුවිල්ලක්
පහළ වුණේ ඇයි?
මගේ MBA උපාධිය සම්පූර්ණ කරද්දි Entrepreneurship පාඨමාලාවක් කළා. ඒකෙදි තමයි
ව්‍යවසායකත්වය කියන දේ ඔළුවට ආවේ. ඇත්තටම ඒ වෙලාවෙ ව්‍යවසායකයන් එක්ක
වැඩකරන්න ලැබුණා. ඒකත් එක හේතුවක්.
එතකොට දේපළ වෙළෙඳාම් (Real Estate) ක්ෂේත්‍රයම තෝරා ගත්තෙ?
ඒ වෙනකොට The Finance සමාගමේ
Real Estate අංශයේ ගණකාධිකාරිවරයෙක් විදියට
දෑවුරුද්දක් මං වැඩ කරලා තිබුණා. තවත් අවුරුද්දක් ඒ අංශයේ ම කළමනාකරු ලෙසත්
වැඩ කළා. ඔය අත්දැකීමට ව්‍යවසායකත්වය කියන දේත් එකතු වුණාම ගොඩනැඟුණු දෙයක්
තමයි Prime Lands.
මොනවද ඔබට තිබෙන වෙනත් ව්‍යාපාර?
Prime Lands.
Prime Homes සහ
Living Homes… අපේ සමූහයට අයිති ව්‍යාපාර. ඊට
අමතරව ආයතන දෙකක අධ්‍යක්ෂ මණ්ඩලවලත් හිටියා. අනෙක තමයි, Prime Grameen. අපේ
ක්ෂුද්‍ර මූල්‍ය සමාගම.
"ව්‍යාපාර කියන්නේ ඔබේ ඇඟේ තිබෙන දෙයක්" හරිද ඒ කතාව?
ඒ වුණාට මං කවදාවත් හිතලවත් තිබුණු දේකුත් නෙවෙයි. සමහරුන්ට ව්‍යාපාරික උණ
ඇඟට එන්නෙ පුංචි කාලෙ ඉඳලා. මට නම් එහෙම එකක් ගෑවිලාවත් තිබුණෙ නැහැ.
මොකක්ද ඔබේ Business Style එක?
"පොඩ්ඩ පොඩ්ඩ කෑවොත් අලියෙක් හරි කන්න පුළුවන්" ය කියන සංකල්පය. පියවරෙන්
පියවර පොඩියට ඉස්සරහට යන ගමනයි මං අනුගමනය කරන්නේ. විශ්වාස කරන්නෙ. ණය
බරින් මිරිකිලා, එකවර විශාල පියවර තැබීම මං කවදත් කළේ නැහැ.
අධිෂ්ඨානය සහ කැපවීම ඔබේ ජීවිතය ඇසුරින් විග්‍රහ කරන්න...
අතේ ලක්ෂ හතරක් වගේ පොඩි ප්‍රාග්ධනයක් තියාගෙන දේපළ වෙළෙඳාම් ව්‍යාපාරයක්
ගැන හිතන්න පුළුවන්ද... ඒත් විකුණා මුදල් පියවන පොරොන්දුව මත අපි ඉඩම් ලබා
ගත්තා. කියූ දිනයටත් කලින් ඒ මුදල් ආපසු ගෙව්වා. මගේ අධිෂ්ඨානය වුණේ
පාරිභෝගික විශ්වාසය ගොඩනඟා ගැනීම. අවුරුදු විස්සකට උඩදි මං මේ ව්‍යාපාරයට
අත ගැහුවේ කරමින් හිටි ගණකාධිකාරි තනතුරත් අත්හැරලා. හොඳ ජොබ් එකක් හොඳ
වැටුපක් අත්හැරලා මේ වැඩේට අතගහද්දි ඇත්තටම ළඟ තිබුණෙ අධිෂ්ඨානය විතරයි.
එතකොට කැපවීම?
මේක Field Job එකක්. වෙලාවක් අවේලාවක් නැතිව වාහනයක් පදවාගෙන රට වටේ ඉඩම්
හොයන්න, බලන්න යනකොට සමහරදාට නින්ද නැහැ. මහ පාන්දරින් පිටත් වෙනවා. හරි
ඉඩමක් තෝරා ගනිද්දි සොයා බැලිය යුතු හුඟක් දේ තිබෙනවා. ඉස්සර නම් හැමදාම වගේ
එහෙම යන්න වුණා. ඒක හුඟක් වෙහෙසකර කාල පරිච්ඡේදයක්. අද වුණත් මං යා යුතු නම්
යා යුතුයි. සභාපති කියලා සීත කාමරයක පුටුවකට වෙලා මේ රස්සාව කරන්න බැහැ. ඒ
තමයි කැපවීම.
"නිවාස ඉදිකිරීම් ආයතන බලා ඉඳිද්දි දියුණු වෙන්නෙ ජනතාව රවටන නිසා" මේ
කතාවට ඔබ මොකද කියන්නේ?
වෘත්තීය සුදුසුකම් ලත් පිරිසකගේ දායකත්වය මොන තරම් දුරට ලැබෙනවාද... එම
ආයතනයේ මුල්‍ය ස්ථාවරත්වය සහ නිවසක් හදාගෙන යද්දි එය පරීක්ෂා කර බැලීමට ඇති
හැකියාව පිළිබඳවත් පාරිභෝගිකයන් සොයා බැලිය යුතුයි. එවිට ඔවුන්ට බැහැ
ජනතාව රවටන විදියේ ගෙයක් හදන්න. අනිත් ආයතන ගැන මට කියන්න බැහැ. නමුත් අවුරුදු
විස්සක් මේ ක්ෂේත්‍රයේ අපට පවතින්න බැහැ එහෙම රැවටීම් කළා නම්.
මේ ක්ෂේත්‍රයේ ගොඩනැඟී තිබෙන අලුත් ප්‍රවණතා මොනවද?
කාලයක් තිබුණා මිනිස්සු Flats… ජීවිතයට අකැමැති. දැන් ඒක වෙනස් වෙලා. කොළඹ
තිබෙන සුපිරි Flats ම අපි කොළඹින් පිට හැදුව ම වැඩිපුරම ගත්තෙ සාමාන්‍ය මැද
පන්තියේ අය. සියලු පහසුකම්... ආරක්ෂාව... හැමෝම එක ම වගේ නිවාසවල...
ජීවත්වනවාය කියන හැඟීම... සහ සමාජ තත්වය කියන කාරණා නිසා අද වන විට හුඟක් අය මේ
Flats වලට කැමැතියි. විශේෂයෙන් නගරයෙන් පිට සුපිරි නිවාසයක්, ඔවුන්ට වියදම්
කළ හැකි ගාණකට ලැබෙනවාට ඔවුන් කැමැතියි.
දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට Prime Lands එක් කළ වෙනස් දේ මොනවද?
ඒක අපි එක බැනර් එකකින් කළ දෙයක්. ‘ළඟ තිබෙන මුදල ගෙවා, කොටස් වශයෙන් ඉතිරිය
ගෙවන්න...’ පුළුවන් ක්‍රමයක් පාරිභෝගිකයාට හදලා දුන්නා. අනික බැංකු ණයක් ගන්න
මිනිස්සු හරියට රස්තියාදු වූ කාලයක් ඒක. අපි, බැංකු ණය අරන් දෙන්නත් ආයතනයක්
විදියට මැදිහත් වුණා. ඒ ක්‍රමය නිසා අතේ තිබෙන මුදලට හොඳ ඉඩමක් අරගෙන වාරික
ලෙස ගෙවාගෙන යන්න හුඟ දෙනෙක් පෙළඹුණා.
කවුද ඔබ ආදර්ශයක් කොට ගන්න කැමැති ව්‍යාපාර නායකයින්?
මං The Finance වැඩකරන කාලෙ හොඳම ආදර්ශය වුණේ ලලිත් කොතලාවල මහතා. මුල් කාලයේ
එතුමා හොඳින් සියල්ල මෙහෙයවූවා. පසුකාලීනව ඔහු සිය ව්‍යාපාරයේ. ‘Focus’ කියන
ප්‍රබලම කාරණය අත්හැරියා. ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම් ‘Focus’ එකක් තිබිය
යුතුමයි. මං එය බරපතළ ජීවිත පාඩමක් තරමට ඉගෙන ගත්තෙ එතුමාගේ ඒ වැටීමත්
සමගමයි.
ඔබේ ව්‍යාපාරය තුළ ‘Focus’ එකක් තිබෙනවාද?
ඔව්. මගේ ව්‍යාපාර සමූහය තුළ අංක එක Real
Estate. ඒ කියන්නෙ මගේ Focus එක, Real
Estate. ඒ නිසා තමයි හුඟක් හොඳින් දියුණු වෙලා තිබූ අපේ
Prime Grameen මූල්‍ය
සමාගම HNB එකත් එක්ක අනුබද්ධ කළේ. ඔවුන් මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්.
HNB Grameen නමින් ඔවුන් එය අති සාර්ථකව කරගෙන යනවා. දොඩං ගොඩ බදාගත්තා වගේ ඔක්කොම
කරන්න ගියොත් ඒක අවුලක්. එහෙම සාර්ථක වූ අයත් ඇති. නමුත් මගේ ක්‍රමය වෙනස්.
ව්‍යාපාරයක දියුණුවට බලපාන ප්‍රබල ම සාධකය කුමක් කියලද ඔබ හිතන්නේ?
ව්‍යාපාරයේ සල්ලි අයිති ව්‍යාපාරයට. ඒ මුදල්වලින් වෙන දේවල් කරන්න ගියොත් එතැන
තමයි කඩා වැටීම. ගොඩනැඟිලා අවුරුදු කිහිපයක්වත් යනකල් ව්‍යාපාරයේ මුදල්
ඉතාම අරපිරිමැස්මෙන් යෙදවිය යුතුයි. ව්‍යාපාරයේ ව්‍යාප්තිය තමයි මූලිකකොට
සැලකිය යුතු වන්නේ. මං ගෙයක් හැදුවෙ ව්‍යාපාරය පටන් අරන් අවුරුදු 13කට පස්සෙ.
Accountant කෙනෙක් කියන්නේ කොහොමත් රුපියලට ගණන් බලන කෙනෙක් නේද?
ඒ කතාව නිසා නොවෙයි, ‘ව්‍යාපාරයේ මුදල් අයිති ව්‍යාපාරයට’ කියන්නේ යහපත්
ව්‍යාපාරික ප්‍රතිපත්තියක්. කොයි කවුරුත් අනුගමනය කළ යුතු දෙයක්.
ව්‍යාපාරයක profit එක කියන්නේ ‘by product’ එකක්. ඒ නිසා සෑහෙන කාලයක් යනතුරු ඒ
ලාභයටවත් අත තැබිය යුතු නැහැ.
සේවකයන් සමඟ ඔබට තිබෙන්නෙ ආයතනික ගනුදෙනුවක් පමණයිද?
ගෙදර ඉන්නවට වඩා වැඩි කාලයක් සේවකයන් ගත කරන්නෙ වැඩකරන තැන. එහෙම නම් ඒ තැන
ප්‍රසන්න පරිසරයක් විය යුතුයි. නීති රීති රාමුවලටට බැඳුණු පරිසරයකට වඩා
අපේ ආයතනයේ ක්‍රියාත්මක වෙන්නේ ඒ ස්වයං විනය. ඒ නිසාම මේ පරිසරය බොහොම
ප්‍රියමනාප තැනක්. තමන්ගෙ ප්‍රධානියා එක්ක තේ එකක් බොන්න... අවශ්‍ය දෙයක් කතා බහ
කරන්න මෙහෙ ‘බැරියර්’ නැහැ.
ඔබ එහෙම කිව්වට, ඔය හැබෑවට ම ක්‍රියාත්මක වන දේද?
අපේ සමාගමට මෑතක් වන තුරු මානව සම්පත් කළමනාකරුවෙක් හිටියෙත් නැහැ. නමුත්
ලංකාවේ, ‘රැකියාවක් කිරීමට හොඳ පරිසරයක් ඇති ආයතන’ විස්සෙන් එකක් බවට
පහුගිය අවුරුද්දේ Prime Lands පත්වුණා. සම්මානනීය වුණා. සේවකයන්ට හොඳ මානසික
පරිසරයක් ඇතිව වැඩකිරීමට සැලැස්වීම, හොඳ වැටුපක් ගෙවීම හොඳ නායකයකු අතින්
ඉටුවිය යුතු දෙයක්. ඒ වගේ ම සේවකයකු එක්ක හිනාවෙලා සුහදව කතා කරන එක
Boss
කෙනකුට මදිකමකුත් නෙවෙයි. මේ සියල්ල අපි අතින් ඉටු වූ නිසයි, ඒ විදියට
සම්මානනීය වුණේ.
ආයතනය වෙනුවෙන් තව කරන්න තිබෙන දේ මොනවද?
2020 දී Prime lands, දකුණු ආසියාවේ හොඳම දේපළ වෙළෙඳාම් සමාගම බවට පත් කරන එක.
ඉන්දියාවේ එක සමාගමක් සාමාන්‍යයෙන් එක Project එකක නිවාස තුන් හාරදාහක් විතර
හදනවා. ඒ නිසා සංඛ්‍යාත්මකව ඒ තැනට යන්න අපිට බැහැ. නමුත් තව තවත් අංශ වලින්
වෙනත් දර්ශක වලින් සහ ගුණාත්මකව ඒ ඉලක්කයට යන්න අපිට පුළුවන්.
මේ ඉලක්ක කරා යන්න, ඔබේ සමාගමේ වැඩිම ඵලදායිතාවක් ලැබෙන අංශ මොනවද?
Designing අංශය. හොඳ apartments හදන එක අද හොඳම ප්‍රවණතාවක්. ඒ වගේ ම වාණිජමය
ගොඩනැඟිලි .... සාප්පු සංකීර්ණ දිගු කාලීන ආදායම් ලැබිය හැකි අංශ. මේවාට හොඳ
ඉල්ලුමක් තිබෙනවා. හොඳ ගොඩනැඟිල්ලක Design එකත්, එහි ඉල්ලුමට විශාල බලපෑමක්
ඇති කරනවා.
ඔබෙන් පසු මේ ආයතනයේ ඉදිරියට කුමක් වෙයිද?
අනාගත නායකයින් බිහිකිරීමේ දෙවැනි පෙළ සැලැස්මක් අප සමාගමේ තිබෙනවා. මම
වගේ ම නියෝජ්‍ය සභාපතිනි සඳමිණිත් ඒ වෙනුවෙන් හුඟක් වැඩ කරනවා.
Prime lands කියන්නෙ, තාත්තගෙන් පුතා ට යන ව්‍යාපාරයක් නෙවෙයි ද?
මගේ දුව ෂෙහානා පියුමි, Accountant කෙනෙක්. වයස 23 යි. පුතා, නුවන්දික. වයස 19 යි.
උසස් අධ්‍යාපනයේ නියැළිලා. ඒ අය කැමැති නම් සහ සුදුසු නම් ව්‍යාපාරයට එන්න
පුළුවන්. මං ව්‍යාපාරයක් හැදුවා කියලා මගේ බිරියවත් එහෙම බලපෑමක් කරලා නැහැ.
ඇය අදටත් දරුවන්ගේ අම්මා. ගෙදර ගෘහණිය. ඇය මගේ පිටුපසින් හිඳ රාජකාරියට
අවශ්‍ය මානසික සුවය ලබා දෙනවා.
ළමයෙක් හැටියට ඔබට තිබුණු හීන - අරමුණු මොනවද?
අයියට පස්සෙ මං. මට පස්සෙ නංගිලා තුන්දෙනෙක්. මං ගියේ කොළඹ මහානාමෙට. ඊට පස්සෙ
තර්ස්ටන් එකට. ඉස්කෝලෙ යන කාලෙ මං වැඩිපුරට කළේ ‘ස්කූල් කට්’ කරලා ෆිල්ම් බලපු
එක. ඇති තරමට මං කැලණි ගඟේ පීනුවා. සහජ හැකියාවක් ඇඟේ තිබුණු නිසා ඉගෙන ගත්තා
මිස ඒ වෙනුවෙන් විශේෂයෙන් පාඩම් කළේ නැහැ. මහා ලොකු හීන අරමුණු තිබුණෙත් නැහැ.
ඒ කියන්නෙ අම්මා තාත්තාගෙන් හොඳහැටි ගුටිකාපු පුතෙක්?
අම්මා නම් කරුණාවන්තයි. තාත්තා අවුරුදු 37ක් වැඩ කළේ ලේක්හවුස් එකේ.
Accountant කෙනෙක්. තාත්තා තමයි සැර. ඉස්සර අපි නිතර පීනන්න ගියේ කිරිබත්ගොඩ අටේ
කණුව බෝක්කුව යට ඇළට. මං ඇළට පැනලා හිටගෙන යාළුවන්ට කෑගැහුවා. ‘වරෙන් බන්...’
කියලා ඉවර කරන්න හම්බ වුණේ නැහැ. මට දැනුණෙ මහ පොළොව හෙලවෙනවා වෙග්. මං වතුර
දිහා බැලුවා. මං ලොකු කබරයකුගේ පිට උඩයි හිටගෙන ඉන්නේ. ඌ ඔළුව වැනුවා මං
කෑගහගෙන වතුරට පැන්නා. එදා නම් තාත්තගෙන් හොඳටම බැණුම් ඇහුවා.
එහෙම නටපු දඟලපු ඔබ මෙහෙම තත්වෙකට ආවේ වාසනාව පලදීලද?
නැහැ. කරන්න හිතුණු දේ කළා. උසස්පෙළ සමත් වුණෙත් එහෙමයි. මහලොකුවට පාඩම්
නොකළට කොහොම හරි පාස්වෙන උවමනාව තිබුණා. පුංචි තැනෙකින් රස්සාව පටන් ගත්තා.
රස්සාවල් එකක් දෙකක් නෙවෙයි, තුනහතරක් ම කළා. අත්දැකීම් ගත්තා. මට ඕනෙ තැනට මං
ආවා.
අද ඔබ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ තරුවක්. ප්‍රතිරූපයක් තියෙන කෙනෙක්. ෆැෂන්වලට
හුඟක් වියදම් කරනවද?
මං ශරීරය ගැන හිතනවා. ජිම් යනවා. ව්‍යායාම් කරනවා. ඒ වගේම ලස්සනට අඳිනවා.
පලඳිනවා. Brands ම තෝරනවා කියලා නැහැ. නමුත් හිතුණොත් ඒ දේ ගන්නවා. හැබැයි
නාස්තිකාරයෙකුත් නෙවෙයි.
ඔබ සල්ලිවලින් හුඟක් සතුටු වෙන කෙනෙක් ද?
ඔව්. හැම ව්‍යාපාරිකයකුම මුදල්වලට කැමැති විය යුතුයි. එහෙම වුණොත් විතරයි
ව්‍යාපාරයක් වර්ධනය වෙන්නේ. අනික ව්‍යාපාරිකයකු ළඟට මුදල් එනකොට එය සංසරණය
වීමත් අවශ්‍යයි. ලැබෙනවා වගේ ම සේවකයන් වෙනුවෙන් හා සමාජ සත්කාර වෙනුවෙන් ඒ
මුදල් යම් ප්‍රමාණයක් යළි වැය කිරීමත් කළ යුතුයි. යළි යළි මුදල් උපයන්න මඟ
පෑදෙන්නෙත් ඉඩ ලැබෙන්නේත් එවිටයි.
ජීවිතය විඳින්න පුරුදුවෙලා ඉන්නෙ කොහොමද?
මං නටන්න ආසයි. සිංදු කියන්න ආසයි. පාටිස්වලටත් නිතර යනවා. හැබැයි මං
Hard
Worker කෙනෙක්. වැඩකරන වෙලාවට බැහැලා වැඩ කළාට ජීවිතය සීරියස් කරගෙන විඳවන්න
කැමැති නැහැ. රස්සාව වුණත් සතුටක් කරගෙන කරන ක්‍රමයකුයි මට තියෙන්නේ. ඔය
හැමදේම අතරේ ජෝතිපාලගේ අමරදේවගේ සිංදුවක් අහලා සතුටුවෙන්නත් මට පුළුවන්.
ආසාව උනන්දුව ඇඟේ තිබුණට ව්‍යවසායකත්වයට අත තියන්න බය තරුණ පරපුරට ඔබ
මොකද කියන්නෙ?
අද කොණ්ඩෙ කපන්න වෙලාවක් ගන්න බැරිතරමට සෙනඟ ඉන්න ශිල්පියො මොනතරම් මේ රටේ
ඉන්නවද... පුංචියට හරි, නියම ශිල්පෙ දැනගෙන වැඩේට බහිනවා නම් මේ රටේ
ව්‍යාපාරික අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. හොඳ ගරාජ් බාස් කෙනකුට මොනතරම් වැඩ
තිබෙනවද... වැදගත් ම දේ තමයි, ශිල්පය දැන කරන වැඩේට කැපවීම.
සංවාදය -
ඉනෝකා පෙරේරා බණ්ඩාර
ඡායාරූප -
විමල් කරුණාතිලක සහ අන්තර්ජාලයෙන්